Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වෙලේ සුදා සමග හාදකම් පෑවට උදයන්තිගේ මස්සිනාත් අධිකරණයට කැදවේ

Friday, July 03, 2015
සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වු බවට චෝදනා ලබා සිටින රංගන ශිල්පිනි උදයන්ති කුලතුංගගේ සහෝදරියගේ සැමියාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (03) නියෝග කළා.

මෙම පුද්ගලයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ සිය සේවාදායකයා ව්‍යාපරික කටයුතුවල යෙදී සිටින හෙයින් ඔහුගේ බැංකු ගිණුම් මුද්‍රා  තබා තිබිම අදාල ව්‍යාපාරයට බාධාවක් වන බවයි. උදයන්ති කුලතුංගගේ සහ ඇගේ සහෝදරියගේ බැංකු ගිණුම් ද මෙලෙස මුද්‍රා තබා තිබෙනවා. 

මෙම නඩුව ලබන 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි. 

මේ අතර රංගන ශිල්පිනි උදයන්ති කුලතුංග මෙනෙවියගේ, ඇගේ සහෝදරියගේ සහ මස්සිනාගේ බැංකු ගිණුම් තහනම් කර ඇත්තේ ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත මීට පෙර දැනුම් දුන්නා. ඊට අදාලව කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් ද ලබාදී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

උදයන්ති කුලතුංග මෙනෙවිය සහ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමන්ත කුමාර නොහොත් වෙලේසුදා අතර කිසියම් සම්බන්ධයක් පැවති ඇති බවයි මේ වන විට හෙලිවී තිබෙන්නේ. ඔවුන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු ද සිදුවී ඇතැයි වෙලේ සුදාගේ ජංගම දුරකථන පරික්‍ෂා කිරීමේ දී හෙලිවු බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. 

අවස්ථා හතරක දී වෙලේ සුදා විසින් රුපියල් ලක්‍ෂය බැගින් උදයන්ති කුලතුංග මෙනෙවියට ලබාදී තිබෙනවා. ඊට අමතරව ඇගේ උපන් දිනයක් අවස්ථාවේ වෙලේ සුදා විසින් රුපියල් 50,000ක ත්‍යාගයක් ද ඇයට ලබාදී ඇතැයි සඳහන්. මෙම සියලූ කරුණු අදාල බැංකු ගිණුම් පරික්‍ෂා කිරීමේදී තහවුරු වී ඇතැයි ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. 

එක්තරා අවස්ථාවක දී උදයන්ති කුලතුංග මෙනෙවියගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්‍ෂ 100ක තැන්පතුවක් ඇගේ සහෝදරියගේ බැංකු ගිණුමකට මාරු කර තිබෙන බවයි මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ. ඇගේ සහ ඇගේ සහෝදරියගේ බැංකු ගිණුම් තහනම් කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ද මෙම මුදල් හුවමාරුවයි. 

කෙසේවෙතත් කිසිඳු අපරාධයකට තමන් සම්බන්ධ නැතැයි ද වෙලේ සුදා සමග දැනුවත්ව කිසිඳු සම්බන්ධයක් තමන් පවත්වා ගොස් නැතැයි ද උදයන්ති කුලතුංග මෙනෙවිය පවසනවා. අධිකරණයෙන් තමන් සාධාරණය අපේක්‍ෂා කරන බවයි ඇය මාධ්‍ය වෙත කියා සිිටියේ.



තවත් කලා පුවත්

Previous
Next Post »