Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන උළෙල අද

Wednesday, March 25, 2015
රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන උළෙල අද (මාර්තු 25) පැවැත්වෙනවා. 2014 වසරේ දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමින් පැවැත්වුණු තරගවල ජයග‍්‍රාහකයින්ට මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතයි. උඩරට, පහතරට, සබරගමු යන අංශවලින් සිංහල මාධ්‍යයෙන් තරග පැවැත්වුණා. මීට අමතරව සාම්ප‍්‍රදායික භරත නැටුම් සඳහා දෙමළ මාධ්‍යයෙන් තරග පැවැත්වුණු බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ. ජන නැටුම් සහ නිර්මාණාත්මක නර්තන යන අංශවලින් සිංහල සහ දෙමළ මාධ්‍ය යන දෙකෙන්ම තරග පැවැත්වුණා. මුද්‍රා නාට්‍ය තරග පැවැත්වුණේ ළමා, වැඩිහිටි දිගු සහ වැඩිහිටි කෙටි යන අංශවලින්. නර්තන තරගවලට දහසකට වැඩි තරගකරුවන් පිරිසක් සහභාගි වී සිටියා. ඔවුන්ගෙන් ජයග‍්‍රාහකයින්ගෙන් 140 දෙනෙකුට සම්මාන පිරිනැමීමට නියමිතයි. මුද්‍රා නාට්‍ය අංශයෙන් හොඳම මුද්‍රා නාට්‍ය ශිල්පියා, හොඳම මුද්‍රා නාට්‍ය ශිල්පිනිය, හොඳම මුද්‍රා නාට්‍ය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය සහ හොඳම සංගීතය යන අංශ සඳහා සම්මාන පිරිනැමෙනවා.

මීට අමතරව ශ‍්‍රී ලාංකේය නර්තන සහ මුද්‍රා නාට්‍ය ක්ෂේත‍්‍රයට කරන ලද අනූපමේය සේවය අගයමින් ශිල්පින් කිහිපදෙනෙකුට නර්තන තිලක සම්මානය ද පිරිනැමීමට නියමිතයි. හේරත් බණ්ඩා, නිමල් වෙල්ගම, එම්.ජේ ලාෆීර් සහීම් සහ ශාරදා දේවි ශ‍්‍රී කන්දරාජා යන මහත්ම මහත්මීන් ඊට සුදුසුකම් ලබා තිබෙනවා. 

මෙම සම්මාන ප‍්‍රධානෝත්සවය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි. පස්වරු 02.00ට එය ආරම්භ වනවා. ප‍්‍රධාන ආරාධිතයින් ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මිය සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා සහභාගි වීමට නියමිතයි. 

තවත් කලා පුවත්

Previous
Next Post »