Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලාශිල්පීනී සෝමලතා සුබසිංහ අභාවප්ප්‍රාප්ත වෙයි (UPDATE)

Saturday, May 30, 2015
කලාශිල්පීනී සෝමලතා සුබසිංහ මහත්මිය අද අලූයම අභාවප‍්‍රාප්ත වුණා. එ් රෝගී වී දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප‍්‍රාප්ත වන විට 78 වැනි වියේ පසු වූ සෝමලතා සුබසිංහ මහත්මිය වසර ගණනාවක් වේදිකාව , සිනමා සහ පුංචි තිරය යන කලා මාධ්‍යයන් හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූවා.

සෝමලතා සුභසිංහයන්ගේ කලාදිවිය ආරම්භ වන්නේ ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්ව සිටියදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ රත්තරන් සහ එලොව ගිහින් මෙලොව ආවා යන වේදිකා නාට්‍යවල රඟපෑමෙන්. එදා සිට අභාවප‍්‍රාප්ත වන තෙක්ම ඇය වේදිකාවේ සුරුවිරුකම් පෑ රංගන ශිල්පියක වුණා. 

නාට්‍ය රචිකාවක් සහ අධ්‍යක්ෂවරියක් ලෙසද සෝමලතා සුබසිංහ මහත්මිය දැක් වූ දක්ෂතා අගය කළ යුතුයි. නවකයන් පුහුණු කිරීම සඳහාද විශේෂයෙන්ම ළමා නාට්‍ය පෝෂණය කිරීම සඳහාද ඇය සිය ජීවිතයෙන් සැලකිය යුතු කොටසක් වැය කළා. පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ළමා හා යොවුන් රංග පීඨය නමින් නාට්‍ය පුහුණු පාසලක් ආරම්භ කිරීම එහි එක් පියවරක්. තොප්පි වෙළෙන්දා, රත්මලී සහ හිම කුමරිය වැනි නාට්‍යය නිර්මාණය කරමින්ද ළමා නාට්‍ය ප‍්‍රචලිත කිරීමට සෝමලතා සුබසිංහ මහත්මිය දායකත්වය ලබාදුන්නා. 

සෝමලතා සුබසිංහයන්ගේ වේදිකා රංගනයේ විශිෂ්ඨතම කුසලතාවක් ලෙස හැටේ දශකයේ දී වේදිකා ගත කෙරුණු ගුණසේකර ගලප්පත්තිගේ මුහුදු පුත්තු නාට්‍යය විචාරක ප‍්‍රසාදයට ලක් වනවා. රංජිත් ධර්මකීර්තිගේ හිරු නැති ලොව, හෙන්රි ජයසේනගේ දිරිය මව, සහ දයානන්ද ගුණවර්ධනගේ නරිබෑණා ඇගේ වේදිකා රංගනයේ තවත් කැපී පෙනෙන අවස්ථා කිහිපයක්. සිය දියණිය වන කෞෂල්‍යා ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සොඳනළු මරණය ඇය රඟපෑ අවසන් වේදිකා නාට්‍ය වනවා.

වේදිකාවෙන් පසු සිනමාවට පිවිසි සෝමලතා සුබසිංහයන් මඩොල්දූව, මහගෙදර, විරාගය, මේ මගේ සඳයි, සුදු කළුවර, තිලක හා තිලකා සහ සිරිබෝ අයියා වැනි චිත‍්‍රපට ගණනාවක සිය රංගන කුසලතාව විදහා දැක්වුවා.

සෝමලතා සුබසිංයන් කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ ලයනල් ප‍්‍රනාන්දු මහතාගේ භාර්යාවයි. කෞෂල්‍යා ප‍්‍රනාන්දු මෙන්ම ශාමලිකා ප‍්‍රනාන්දු මෙම දෙපළගේ දියණියන් වනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »